
ට්‍රම්ප්ට අනුව, මේ යුද්ධය කඩිනමින් අවසන් විය යුතුව තිබුණි. ඊශ්‍රායලය ද හවුල් කරගෙන ඉරානයට දිගට හරහට පහර දෙමින්, පීඩනයක් එල්ල කරමින්, බලහත්කාරකමින්, ඉරානයේ ඉස්ලාමීය පාලනය පෙරළා දැමීම ට්‍රම්ප්ගේ ඉලක්කය විය. ඒත් එවැන්නක් සිදු වූයේ නැත. කොතරම් ප්‍රහාර එල්ල වුණත්, ඉරානය නොසැලී සිටී.
ගුවනින් මිසයිල පාත් වෙද්දී පවා ඉරාන වැසියෝ, ඔවුන්ගේ රජයට සහාය දක්වමින් වීදි බැස සිටිති. ඒ අනුව, ඉරානය සම්බන්ධයෙන්, ට්‍රම්ප් පවසන කිසිවක් සිදුවන බවක් පෙනෙන්න නැත. ඉරාන පරාජය කළේ යැයි ට්‍රම්ප් විටෙක කියයි. පැය කීපයක් ගතවෙද්දී හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ගැටලුවක් වී ඇතැයි ට්‍රම්ප් කියයි. ට්‍රම්ප්ට අනුව, ඉරාන නාවික හමුදාව මුළුමනින්ම විනාශ වී ගොසිණි.
එසේ නම්, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න ගැටලුවකි.
දැන් ට්‍රම්ප් කියන්නේ, ඉරානයට එරෙමිව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම කඩිනමින් අවසන් කරන බවය. ඒ සඳහා තව සති දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි ද ට්‍රම්ප් කියයි.
ඉරානය ඇමෙරිකාව සමග ‘ඩීල්’ එකකට නාවොත්, දිගට හරහට පහර දී ඉරානය ‘ගල් යුගයට යවනවා’ ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් නොදන්න දෙයක් ඇත. ට්‍රම්ප් ‘ගල් යුගය’ ලෙස හඳුන්වා දුන් එම කාලයේ පර්සියානු අධිරාජ්‍යය බලවත් විය. ඉරානය යනු අතීතයේ පර්සියාවය. ඓතිහාසික වාර්තා අනුව, ලොව පළමු මානව හිමිකම් සම්බන්ධයෙන් පළමු ලියවිල්ල සකස් කළේ ද පර්සියානුවන්ය.
‘ට්‍රම්ප් මහත්තයෝ, ඔයාලා ගල් යුගයේ ලෙන්වල ජීවත් වෙමින්, ගින්දර සොයන්න වෙහෙසෙද්දී, පර්සියානුවන් මානව හිමිකම් ගැන ලියවිලි සකස් කළා. ඇගලක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ මහා ආක්‍රමණවලට අප නොබියව මුහුණ දුන්නා. මෝගල් අක්‍රමණ පලවා හරියා. ඒත් අප පැරදුණේ නැහැ. කාටවත් අපව යටත් කර ගන්න බැරිවුණා.’ යැයි ට්‍රම්ප්ගේ ‘ගල් යුගයේ කතාවට’ පිළිතුරු දෙමින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි පිළිතුරු දී ඇත.
තමන්ට සහාය නොදෙන බවට චෝදනා කරමින් ට්‍රම්ප් ඇමෙරිකාව, නේටෝ සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවට ද තර්ජනය කර ඇත. ට්‍රම්ප් ඉරානය සමග ආරම්භ කළ යුද්ධය මේ වනවිට පිටපතින් පිට පැන වෙන කොහේදෝ යන බවක් පෙනෙයි. පිටපත අවුල් සහගතය. අප ආපසු හැරී බැලුවොත් මේ පිටපත සකස් කළේ කවුද? පිටපත ලියුවේ ට්‍රම්ප්ගේ ගෝලබාලයන්ය. ට්‍රම්ප් වටකරගෙන සිටින ඔහුගේ ගෝලබාලයන්, ‘එහෙයියන්’ පිරිසකි.
ට්‍රම්ප් මොනවා කීවත්, මොනවා යෝජනා කළත් ‘එහෙයි’ කියා එය පිළිගනී. අනුමැතිය දෙයි. ඔවුන් කිසිවකු ඒ ගැන ට්‍රම්ප් සමඟ වාද කරන්නේ නැත. ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කරන්න යන්නේ ද නැත. ඇතැම්විට ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම සහ උද්දච්ඡකම ඊට හේතුව විය හැකිය. ට්‍රම්ප්ට යමක් පහදා දීම අසීරු බව ‘එහෙයියන්’ දන්නවා විය හැකිය.
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන්නේ මාර්කෝ රූබියෝ ය.
ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් යනු විදේශ අමාත්‍යවරයාය. ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වගකිවයුත්තා රාජ්‍ය ලේකම්වරයාය. රාජ්‍ය ලේකම්වරයා ලෙස මාර්කෝ රූබියෝ කළ යුත්තේ විදේශ සමඟ යහපත් සබඳතා ගොඩනගා ගැනීමය.
මිතුරන් සතුරන් කර ගැනීම හෝ සතුරන් බිහිසුණු සතුරන් බවට පත් කර ගැනීම නම් නොවෙයි. එහෙත් රූබියෝ කරන්නේ එයයි. රූබියෝ ක්‍රියාකරන්නේ අමුතුම විදියකටය. ට්‍රම්ප් අනුව යමින් දැන් ඔහු ද පවසන්නේ ඇමෙරිකාවට, නේටෝ සංවිධානයෙන් වැඩක් නැති බවය. ඒ අයි?
ඊට හේතුව, ඉරාන යුද්ධයේ දී නේටෝ සාමාජික රටවල් ඇමෙරිකාවේ සහායට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමය.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවග් එක් වී ඇතිකරගත් යුද සංවිධානයයි. නේටෝ සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය.
අද තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි. යුක්රේන රුසියන් යුද්ධයට මුල ද මෙම නේටෝ සංවිධානයයි. යුක්රේනය රුසියාවේ අසල්වැසියාය. යුක්රේන ජනාධිපති ව්ලදොමීර් සෙලෙන්ස්කී යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ඉල්ලයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට කැමැති නැත. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම යනු, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ මේ නිසාය.
ඇමෙරිකා ඉරාන යුද ගැටුම් මැද රුසියන් යුක්රේන යුද්ධය ගැන දැන් කාටවත් වගේවගක් නැත. ඇමෙරිකන් ඉරානය යුදගැටුම් අතරතුරේ, රුසියානු හමුදා පහර දෙමින්, යුක්රේනයේ පළාත් රැසක් සම්පූර්ණයෙන්ම සිය අණසක යටතට ගෙන ඇත. නේටෝ සංවිධානයට, අරමුදල් විශාල වශයෙන් ලබා දෙන්නේ ඇමෙරිකාවය. නේටෝ රටවල් බෙහොමයක ඇමෙරිකන් හමුදා කඳවුරු ද පිහිටුවා ඇත.
එක් නේටෝ රටවක කිසියම් රටක් තර්ජනය වුවහොත්, අනෙක් නේටෝ සාමාජික රටවල් සියලු දෙනා එම තර්ජනය එල්ල වන රටේ ආරක්ෂාවට පැමිණිය යුතුය. නේටෝවේ කොන්දේසිය එයයි. නේටෝවට ඇමෙරිකාව අත්‍යාවශ්‍යය. කෙසේ නමුත් දැන් ට්‍රම්ප් නේටෝවෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තොත්, එය නේටෝ සංවිධානයේ අවසානය වනු ඇත.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් හමුවී කතාබහ කර මතගැටුම් සමතයකට පත් කිරීමට නේටෝ මහ ලේකම් ලෙස කටයුතු කරන මාර්ක් රූට් ලබන සතියේ ධවල මන්දිරයට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
නේටෝවේ ප්‍රබලයකු මෙන්ම ඇමෙරිකාවේ සමීපතමයකු ද වන බ්‍රිතාන්‍යය සෘජුව ට්‍රම්ප්ට ‘බැහැ’ කියා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීයර් ස්ටාර්මර්, සිය ස්ථාවරය පැහැදිලිව ට්‍රම්ප්ට දන්වා ඇත.
‘ඉරානය සමග යුද්ධයට අප එන්නේ නැහැ’ යන්න එම ස්ථාවරයයි. මෙය ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වී ඇත. ඉරාන යුද්ධයේ දී, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට තම ගුවන් කලාපය ඇමෙරිකන් හමදාවට තහනම් කළේ ස්පාඤ්ඤයයි. මෙය ද ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගත් විට එය යළි විවෘත කිරීමට හමුදා සහාය දෙන්නැයි, ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් උදවු ඉල්ලුවේය.
‘යුද්ධයේ අවසන් වූ පසු උදවුවට එන්නම් ’ මැක්රොන්ගේ පිළිතුර විය. මෙය ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. ‘නෝනාගෙන් ගුටකන ප්‍රශ්න ජනාධිපති මැක්රොන් කියනවා, යුද්දේ ඉවර උනාම උදව්ව එන්නම් කියලා. මිනිහා බයගුල්ලෙක්.’ යැයි ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මැක්රොන් විවේචනය කර ඇත.
“මේ යුද ගැටුමේ දී අපට (ඇමෙරිකාවට) නේටෝ සහාය හිමිවන්නේ නැහැ. සහාය දීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒක අවාසනාවක්. ඉරානය සමඟ යුද්ධය අවසන් වුණාට පස්සේ, අප (ට්‍රම්ප් පරිපාලනය) නේටෝව ගැන දැඩි තීරණයක් ගනීවි. ඒ තීරණය ගැනීම කරන්නේ සහ කළ යුත්තේ ට්‍රම්ප් ජනාධිපතිතුමායි. ඉරානය සම්බන්ධයෙන් අපේ (ඇමෙරිකාවේ) අරමුණු සියල්ල ඉටු කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. ඉතිං අවාසනාවකට අපට සිද්ධ වෙනවා. නේටෝවේ කාර්යභාර්යය සහ නේටෝව සහ ඇමෙරිකාව අතරේ ඇති සම්බන්ධය ගැන දෙවරක් සිතන්න. අප (ඇමෙරිකාව) ඕනෑ වෙලාවක සූදානම් යුරෝපා රටවල් ආරක්ෂා කරන්න. ඒත් අටෙ අවශ්‍ය වෙලාවට ඔවුන් අපේ උදවුවට නොපැමිණෙන්නේ නම් ඒක ගැටලුවක්.” යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් (ආරක්ෂක අමාත්‍යවරයා) ලෙස කටයුතු කරන පීටර් හෙග්සිත් ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනයේ ප්‍රධානියාය. හෙග්සිත්, තමන් හඳුන්වා දෙන්නේ ‘යුද ලේකම්වරයා’ යනුවෙනි.
සාමාන්‍යයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යය යුද්ධයකට යෑමට පෙර සියල්ල විශ්ලේෂණය කිරීමය. සිදුවන ඵලවිපාක ගැන අවධානය යොමු කිරීමය. කිසියම් හමුදා ක්‍රියාමාර්ගයකට යන්නේ නම්, එය අවසානය මෙසේ විය යුතුයි යනුවෙන් සැලසුම් සකස් කිරීම ඔහුගේ රාජකාරියයි. ට්‍රම්ප්ට අනුව ‘ඉරානය සමඟ යුද්ධයකට යමු’ කියා යෝජනා කර ඇත්තේ ද හෙග්සිත්ය.
රූබියෝ මෙන්ම හෙග්සිත්ගෙන් මුවින් පිටවන්නේ ද ට්‍රම්ප්ට අහන්න ඕනෑ දේ පමණි. ට්‍රම්ප් යමක් කීවොත්, හෙග්සිත්ගේ මුවින් එය දොංකාර දෙයි. රූබියෝ සේම හෙග්සිත් ද ට්‍රම්ප් ට විරුද්ධව කිසිවක් පවසන්නේ නැත. යුද්ධය නවත්වමු කියන්න හෝ දැන් ඇති නේද? යැයි ප්‍රශ්න කරන්න හෝ කිසිවකු ට්‍රම්ප් ළඟ ඇත්තේ නැත. යුද්ධයකට ගියොත් මෙන්න මේ විදියේ දෙයක් වේවි.
හෝමූස් අවහිර වේවි. නේටෝවේ සහාය නොලැබේවි යන කරුණු කාරණා ආරම්භයේ දී සැලකිය යුතුව තිබුණු දේවල්ය. ඒත් ඒ කිසිවක් ගැන හෙග්සිත්, ට්‍රම්ප් දැනුවත් කර නොමැති බව දැන් දැන් අපට පෙනී යයි. ට්‍රම්ප් ඇමෙරිකාවට නායකත්වය දෙන්නේ ‘මුලින් ඒක කරමු. ඊට පස්සේ ඒ ගැන කල්පනා කරලා බලමු’ යන ආකල්පයෙනි. තමන්ට විරුද්ධ වෙන කිසිවකු ළඟ නොසිටීම ට්‍රම්ප් ට අස්වැසිල්ලකි. ලෝකවාසී අපට හිසරදයකි.
ට්‍රම්ප්ට පෙර (ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ), ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩිමොක්‍රටික් බැරැක් ඔබාමාය. සාකච්ඡා කරමින්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ පැහැදිලි එකගතාවක් ඇති කර ගැනීමට ඔබාමා සමත් විය. මෙය එසේ මෙසේ ජයග්‍රහණයක් නොවෙයි. ඒ බව කිවයුතුය. යුරේනියම් බල ගැන්වීම් සීමා කිරීමට ඉරානය එකඟ විය. ඒ අනුව, ඉරානයට ඇමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක පවා ඔබාමා ලිහිල් කළේය. ඔබාමාගෙන් පසු බලයට ආවේ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ය.
2018 වසරේ දී ට්‍රම්ප්, ඔබාමා විසින් ඉරානය සමඟ ඇතිකරගෙන තිබූ න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුම අහෝසි කළේය. ට්‍රම්ප් එසේ කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දිගින් දිගටම කළ ඇවිටිලි සැලකිල්ලට ගනිමින් බව ලෝකයම දන්නා රහසකි.
එදා ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා වූයේ ජේම්ස් මැටිස්ය. ට්‍රම්ප් එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජේම්ස් මැටිස් දැඩි ලෙස විරුද්ධ විය.
ට්‍රම්ප් සමඟ මත ගැටුම්වල පැටලුණි. ට්‍රම්ප් කළේ කුමක්ද? ඔහු කඩිනමින් ජේම්ස් මැටිස් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කළේය. එදා ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂඥයෙකි. ඔහු ජෝන් බෝල්ටන්ටය.
ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ අයකු වුවත්, බෝල්ටන් ද තරයේ ට්‍රම්ප්ට පෙන්වා දෙන්න වූයේ ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොයන ලෙසය. ට්‍රම්ප් සහ බෝල්ටන් අතරේ ද බහින්බස්වීම් සිදුවුණු බව ඇමෙරිකන් මාධ්‍ය අතීත සිදුවීම් සිහිපත් කරමින් පවසයි.
මේ අතරේ, යුදමය වාතාවරණය හමුවේ, ඉරානය විසින් වසා දමනු ලැබූ, ලොව අතිශය වැදගත් නාවික ගමන් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් රටවල් 40ක විදේශ අමාත්‍යවරුන්ගේ හදිසි සමුළුවක් පසුගිය දා පැවැත්විණි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා මෙම විශේෂ හමුව අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
එහිදී ඇය අවධාරණය කළේ ඉරානය මෙම ජල මාර්ගය අවහිර කිරීම ගෝලීය ආර්ථික ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බවය. පර්සියානු ගල්ෆ් කලාපය ලෝකයේ සෙසු සාගර සමඟ සම්බන්ධ කරන මෙම පටු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ නැව් ගමනාගමනය, ඉරානයේ ප්‍රහාරාත්මක තර්ජන හමුවේ සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට ඇත.
ලොව බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන මෙම මාර්ගය වැසී යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් අවසන්ය. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම තම රටේ වගකීමක් නොවන බව ට්‍රම්ප් පවසා ඇත. එබැවින්, මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ඇමෙරිකාව සහභාගී කර නොගැනීම විශේෂත්වයක් විය.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මෙම සමුළුවට එක්වූ රටවල් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇත. එමඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ ඉරානය වහාම මෙම අවහිර කිරීම් නැවැත්විය යුතු බවය.
එසේම, මෙම ජල මාර්ගය හරහා ආරක්ෂිත නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට ද එම රටවල් ප්‍රතිඥා දී තිබේ.
පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන ඇමරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඉරාන වැසියන් 1,937 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මියගිය පිරිස අතර මාස අටක බිලිඳකු පවා සිටී.
ඒ අතර කාන්තාවන් 240ක් සහ දරුවන් 212ක් සිටින බව ද පැවැසෙයි. ඇමෙරිකා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, 24,800කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 4,000ක් පමණ කාන්තාවන් වන අතර 1,621 ක් දරුවන්ය.
ඉරානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රබල මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ඩීමෝනා න්‍යෂ්ටික මධ්‍යස්ථානය අවට සහ අරාඩ් නගරයේ 180 ක් පමණ තුවාල ලබා ඇත. මේ දක්වා ඊශ්‍රායල වැසියන් 24 දෙනකු මියගොස් 6,239 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පණ බේරා ගැනීමට ආරක්ෂිත බංකර් වෙත දිව යෑමේදී සිදු වූ අනතුරු හේතුවෙන් ද බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල සෙබළුන් 10 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. අවට ගල්ෆ් කලාපීය රටවලට එල්ල වන ඉරාන ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් 13 දෙනකු මියගොස් ඇති බව ඇමෙරිකාව පවසා ඇත.
ඉකුත් මාර්තු 13 වැනිදා, බටහිර ඉරාකයේදී ඇමෙරිකන් ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
මේ අතර, කලාපය පුරා ඉරානය එල්ල කරන ප්‍රහාර වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
ඉරානයේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව පවසමින් එම මණ්ඩලය සිය දැඩි විරෝධය පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ මහලේකම් ජාසිම් අල්-බුදෙයිවි අවධාරණය කර ඇත්තේ ගල්ෆ් කලාපීය රටවලට එල්ල වන ඉරාන ප්‍රහාර නතර කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය විසින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවය.
හෝමූස් හරහා බාධාවකින් තොරව නාවික ගමනාගමනය පවත්වාගෙන යෑම තහවුරු කිරීමටත්, මුහුදු මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමටත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
සෞදි අරාබිය, කටාර්, බහරේනය, ඕමානය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයකින් සැදුම්ලත් ගල්ෆ් සහයෝගිතා මණ්ඩල, ඉරානය සමඟ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම ගිවිසුමකට හෝ සාකච්ඡාවකට තමන්ව ද ඇතුළත් කරගත යුතු බවට මෙහිදී ඉල්ලීමක් කළේය.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට සහ අනාගතයේදී මෙවැනි ප්‍රහාර නැවත ඇතිවීම වැළැක්වීමට එය අත්‍යවශ්‍ය සාධකයක් බව මහලේකම්වරයා පැවසීය.
“මෙම ප්‍රහාර වහාම නතර කිරීමේ හදිසි අවශ්‍යතාවය ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය යළි අවධාරණය කරනවා. කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සාමය යළි ස්ථාපිත කළ යුතුයි. එමෙන්ම ජාත්‍යන්තර සැපයුම් දාමයන්හි ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති වෙළඳපොළේ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගුවන් හා මුහුදු ගමනාගමන මාර්ගවල ආරක්ෂාව තහවුරු කළ යුතුමයි.” යැයි මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි